Sunday, 28 April 2013

චූටි මල්ලීගේ ප්‍රේමවන්තිය - "මේ....අර කෙල්ලටද උඹේ හිත ගියේ.."



පේරාදෙණිය හන්දියෙන් උදෑසන 5.20ට මාතර බලා ධාවනය වන දුම් රියට හනි හනිකට ගොඩ වී ගෑල්ලමයෙක් ලග ආසනයක පස්චාත් භාගය ස්තාන ගත කර වාඩි වී සුව නින්දකට සැරසුනා පමනි.අලුතෙන්ම මිලදී ගත් මාගේ ජංගම මෙව්වා එක එහා පැත්තේ සිටි ගෑල්ලමයාගේද නින්ද කඩමින් දෙදරා ගියේය.ඇය එක් වරක් මා හට ඔරවා ඉවත බලාගත්තාය.මම කුප්ප ලෙස සිනා සුනෙමි.
දුරකතන තිරයේ දිස් වන පරිදි ඇමතුම අම්මගෙනි.පුතෙකු ගෙදර එද්දී හැම අම්මා කෙනෙක්ටම එය ඉවෙන් මෙන් වැටහේ.අපේ අම්මාටද එසේමය.මා අද ගෙදර එන බව අම්මාට නොකිවෙමි.ඇයව පුදුමයට පත් කිරීමට සිතා ගෙනෙ සිටියද වැඩේ කචල් වෙන හැඩය.දැන් ඉතින් ඇමතුමට පිලිතුරු දී මා ගෙදර එන බව පැවසිය යුතුය.

"හෙලෝ අම්මා..."
 ඔබන තිරයේ ඇති Answer බොත්තම ඔබමින්ම මම ඇමතුමට පිලිතුරු දුන්නෙමි..

"හෙලෝ ලොකු අයියේ.."

තූ....නෙද්දකින්ය...මේ උදේ පාන්දර ඇමතුම චූටි මල්ලී ගොබිලයාගෙනි..චූටි කාලයේ සිටම මේකාට , කලිසමේ චූ කර ගැනීම නිසා තිබූ නින්ද නොයෑමේ රෝගය නැවත ඉස්මතුවී ඇද්දැයි මට සැකයක් තිබේ.නැති නම් උදෑසන 5.20 ට ලොකු අයියලාට කෝල් කරන චූටි මල්ලිලාත් අද කාලයේ සිටීද?

"මොකෝ උගුඩුවෝ...තොට නින්ද යන්නේ නැද්ද මේ උදේ පාන්දර මිනිස්සුන්ට වද දෙන්නේ..."

මාගේ ආසනයේ සිටි කෙල්ල දෙනෙත් ලොකු කරගෙනම මා දෙස බලාගෙනම සිටී.මා ඇය දෙස බැලූ විටම ඇය තව තවත් ජනේලය දෙසට වූවාය.

"හෙලෝ අම්මා කියලා අම්මලාට උගුඩුවෝ කියලා බනින පුතාලත් අද කාලේ ඉන්නව නේ..." මේ ඇයගේ සිතුවිලි වල ශිෂ්ඨ සංශිප්තයයි.

මම නැවත පෙර කියූ කුප්ප සිනහවෙන්ම ඇයට සංග්‍රහ කලෙමි. 

"ලොකු අයියේ...ඔයා ගෙදර එන්නේ කවද්ද ?"

"මේ එනගමන් තමා යකෝ ඉන්නේ...රෙද්ද...තෝ නිසා නිදාගන්නත් නෑ..."

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..අයියා තමා විසදන්න ඉන්න එකම එක්කෙනා..."

"නෙද්දකින් හාල්පාරුවා...මම ඒත් බැලුවා , ලොකු අයියා , ඔයා , වගේ හෙන හැගීම් දනවන වචන වලින් මට කතා කරද්දී මොකක් හරි බටර් පාරකට තමා සෙට් වෙන්නේ කියලා...කියපන්..මොකක්ද වෙන්න ඕන?"

 මේකාට ඇත්තේ අධ්‍යාපනය සම්භන්ද ගැටලුවක් නොවිය යුතුය.අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නම් මාගේන් උදව් ඉල්ලන්නේ නැත.එසේ නම් මෙම ඇමතුම කෙලින්ම යන්නේ පොඩි මල්ලීගේ ජංගම දුරකතනයටය..එයත් දැන් පාවිච්චි කරන්නේ නවීන පන්නයේ ඔබ ඔබා කතා කරන ජංගම දුරකතනයකි.

"මේක ෆෝන් එකෙන් කියන්න බෑ අයියේ"

"ඈ..යකෝ තොට තියෙන්නේ ලිංගික ප්‍රශ්නයක්ද? "

කෙල්ල නැවතත් මා දෙස බලයි..රවයි..ඔරවයි...ඉන් පසුව නැගිට හිස්ව ඇති වෙනත් ආසනයකට පියමන් කරයි..මම නැවත අර කුප්ප සිනහව...

 "පිස්සුද ඕයි...මේක මගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්"

මම හිතුවා හරීයටම හරිය..මේක අධ්‍යාපන ප්‍රශ්නයක් නොවේය. 

"අඩේ....කවුද කෙල්ල? " ඉවෙන් මෙන් ප්‍රශ්නය තෝරාගත් මම චූටි මල්ලීගෙන් ඇසූවෙමි.

"කෙල්ල ගැන කියන්නම්...ඉස්සෙල්ලා තමුසේ ඉක්මනට ගෙදර එනවකෝ.."

 "ඉක්මනට එන්න බෑ යකෝ..කෝච්චිය එන වෙලාවට එන්නම්..එතකල් මැරෙන්නේ නැතුව හිටපන්... "

"අනේ මේ ලොකු අයියේ... @$@$#%## "
 (සංඛේත ලෙස දක්වා ඇත්තේ නමය වසරේ ඇම්බිත්ති කොල්ලෝ පාවිච්චි ක‍රන කුනුහර්පයකි.. )

මම ජංගම දුරකතනය විසංදි කලෙමි..

චූටි මල්ලීට කෙල්ලෙක්ට වත් හිත ගොස් ඇද්ද? එය අම්බානෙක පුදුමය දනවන සුලුය..උගේ ලොකු අයියා මමය.එම නිසා එක් අතකට එය පුදුමය දනවන සුලු නැත.පුදුමය දනවන සුලු වන්නේ කෙල්ලෙක්ට හිත යෑමට මෙතරම් ප්‍රමාදවීම ගැනය.හරි නම් උගේ හිත මොන්ටිසෝරියේ සිටම කෙල්ලන්ට යා යුතුය. 
හිතවත් පාඨකය...මම නැවත නැවත ඔබට මතක් කරමි...මම උගේ ලොකු අයියාය..

නුවර සි ගෙදර දක්වා පැමිනෙන අතර මගදී චූටි මල්ලීගෙන් ඇමතුම් 5කි. මා අසලින් ඉවත් වූ ගෑල්ලමයින් ගනන 3කි.

කිසිදු උප්‍රද්‍රවයකින් තොරව ගෙදරට සැපැත් වන විට වේලාව මධ්‍යහන 12ටත් කිට්ටු වී ඇත.

වෙනදා දොරට විසි තිස් වතාවක් පමන තඩි බාන්නට සිදු වුනද අද මට එසේ සිදු වූයේ නොමැත. තඩි බාන්නට අත දිගු කරනවාත් සමගම දොර විවෘත විය...

"අම්මේ.....ලොකු අයියා ඇවිල්ලා...."

 පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය චූටි මල්ලී මුලු ගමටම ඇහෙන පරිද්දින් කෑගැසුවේය..ඉන් පසු වරක් උඩ පැන්නේය...

"කෝ දෙන්න අයියේ බෑග් ටික..මම ගිහින් තියන්නම්..."

මා කියන්නටත් පෙර මාගේ බෑග් සියල්ල උසුලාගත් ඔහු කාමරයට පිය මැන්නේය.

"ඔන්න මම අද අයියා එන නිසා අයියගේ කාමරේ ලස්සනට පිලිවලට හැදුවා.."

උගේ කතාව හෙන සිරාය.කාමරය අම්බානෙක පිලිවෙලය.මාගේ ඇද පට්ටම පිලිවෙලය.මාගේ ඇදට අඩි දෙකක් පමන වන්නට තිබූ පොඩි මල්ලීගේ ඇද නම් ගන්නට දෙයක් නැත.එහි ඇද රෙද්ද පාපිස්සට ගෙන ඇත.පාපිස්ස ඇද රෙද්දට ගෙන ඇත.පොරවන්නට ඇත්තේ මදුරු දැලකි.පොඩි මල්ලී ගැන මට අම්බානෙක දුකක් දැනුනි..

"ඇයි තෝ පොඩි අයියගේ ඇද හැදුවේ නැත්තේ.. " 
චූටි මල්ලීට චෝදනා කරමින් මම ඇසුවෙමි.

"ඕකාගේ ඇද හදලා මට මොනවද ලැබෙන්නේ..ඕන් අද එනවා කියලා තිබ්බා ඌත්..මම නම් හදයි උගේ ඇද...හ..."

මූ නම් රට ඇම්ඩෙකි.පොඩි මල්ලීට කෙලවා ලැබෙන ආත්ම තෘප්තිය මා අම්බානෙක විදිනා බව මූ දනී...එක් අතකට පුදුම වන්න දෙයක් නොමැත..මූ මගේම චූටි මල්ලීය..

 "හරි....දැන් කියපන් කවුද කෙල්ල? "

"කෙල්ලෙක් නෑ ඕයි..."

"එහෙනම් යකෝ තෝ දැන් කිව්වේ කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක් කියලා..."

"කෙල්ලෙක් ගැන තමා ප්‍රශ්නේ...මේකයි සීන් එක.. හැමදාම කොච්චියේදී හම්බෙන කෙල්ලෙක් ඉන්නෝ.... "

ඒ වචන කියා අවසන් වීමට පෙර මම , මාගේ ලාබාල කාලයට සිතෙන් පියමන් කලමි..

මා පහ වසරේදී හමු වූ කෝච්චියේ කෙල්ල....
ඇය මා දෙස බලයි...ඉන් පසු සිනා සෙයි..රවයි...අතේ ඇති අපි රජ ඉබ්බෝ ඉස්ටිකර් ඇලවූ පැන්සල් පෙට්ටිය කට කොනකින් හපයි.ඉන් පසු ගස්සා ඉවත බලා ගනී...මා පොඩි කාලේ දැමූ කුප්ප හිනාව දමයි.... රිච්මන්ඩ් කන්ද දුම් රිය පලේදී මාත් සමගම ඇය දුමි රිය වේදිකාවට බසී..වැරදීමකින් ඇයගේ අත මාගේ අත සමග ගැටෙයි.දෑත් ස්පර්ශ වූ ඒ සුලු නිමේශය....ඉන් පසු ඇය සිනා සෙයි...මාගේ කුප්ප සිනාව.... අඩි දහයක් පමන ඇවිද ගොස් ඇය නැවත පසු පස හැරෙයි..මා දිහා බලයි..ගස්සයි....නැවත සිනාසෙයි...මාගේ කුප්ප සිනහව... පසුබිමෙන් මිහිරි හින්දි ගීතයක් ඇසෙයි....

"ඕයි....තෝ අහගෙනද ඉන්නේ...." 
චූටි මල්ලී බෙරිහන් දෙයි....හුටාය,..එම කොටස අතීත කාලයට අයිති වූවකි..මා මේ සිටින්නේ වර්තමානයේය.තත්පර දෙකක මනෝ පාරෙන් පසුව මම නැවතත් චූටි මල්ලීගේ ආදර කතාවටම එන්ටර් වූයෙමි.

 "කවුද #$#%#@ මගේ නම දාලා ඒ කෙල්ලට ලියුමක් දීලා " 
(නැවත පෙර කී සංඛේත කිහිපය )

"ඉතින් මරුනේ ඕයි...කෙල්ල කැමති කිව්වද?"

"කැමති කිව්වා....බම්බුවක් කිව්ව...ඒකි , ඒකිගේ අයියට ගිහින් ලියුම දීලා..අයියා එනවා කිව්වලු සඳුදට මට ගේමක් දෙන්න...ඒකිගේ අයියා හෙන මැරයා ඕයි..අන්තිමට ඉතින් මට මේක කියන්න ඉතුරු වෙලා ඉදියේ තමුසේ විතරයි ලොකු අයියේ...අනේ කියන ඇද රෙද්දක් හදන්නම්... සදුදට මාත් එක්ක කෝච්චියේ යන්න එනවකෝ...ප්ලීස්.. "

හුටාය...
බුදු අම්මෝය....
මෙවන් චූටි මල්ලිලා සතුරෙක්ට වත් ඉන්න එපා කියන්නේ මේකය...මූ හදන්නේ මට හොද හෝටලයකින් ගේමක් සෙට් කරන්නය...මම මාරු විය යුතුය..කන ගුටියක් ඌ තනියෙන් කා යුතුය..අහිංසක පරඩැලක් මෙන් සිටින මම ,මගේ දිවි රැක ගත යුතුය..

"තමුසෙට පිස්සුද ඕයි...මට සදුදට විභාගයක් තියෙනවා..අගහරුවාදට මැච් එකක් තියෙනවා..කොටින්ම ඉරිදා හවස අපේ කොල්ලෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙන්නත් තියෙනවා.. "
 මම රටේම නැති පච ටිකක් ඇද බෑවෙමි..

"හ්ම්ම්ම්...එහෙනම් ඉතින් මොනවා කරන්නද..මගේ ප්‍රශ්නේ නේ..මමම විසදගන්නම් අයියේ.."

 චුටි මල්ලී හෙන රොමැන්ටික්ය..මගේ හිත වටවල කහට කෝප්පයකටත් වඩා අම්බානෙකට උනු වී ගියෝහුය.චූටි මල්ලී කර බාගෙන කාමරයෙන් එලියට යයි..උගේ ඇස් වල පනින්නට ඔන්න මෙන්න වෙර දරන තඩි කදුලු බෝල දෙකකි..ඒවා දැන් පනී , දැන් පනී යැයි මට සිතේ...
මොනා කරත් පොර මට කතා කලේ උගේ ලොකු අයියා නිසාය.මේ මොහොතේ මම ඌව තනිකර දමා නොයා යුතුය.

"ඒ.....ඔහොම හිටහන්...සඳුදා කීයටද යන්න ඕන.. "

"උදේ උදේ..6.30ට කෝච්චියේ ගිහින් ඔයාට එහෙම්ම නුවර යන්න පුලුවන්..මම ඒවත් ප්ලෑන් කරලයි තියෙන්නේ...අයියගේ සපෝට් එකට මගේ යාලුවෝ දහයක් දොලහක් විතර එන්නම් කියලත් කිව්ව..මම ඒවත් රෙඩි කරා..."

"අඩෝ...තෝ හිතුවද මට එක එකාගේ සපෝට් එක ඕන කියලා...තෝ දන්නෑ යකෝ කැම්පස් එකේ මම දෙන ගේම්...දන්නව නම් ඔහොම දහයක් දොලහක් ලෑස්ති කරන්නෑ...."

"ඔව්..එහෙනම් හැටක් හැත්තෑවක් විතර ලෑස්ති කරනවා... ""

මොකක්ද තෝ කුටු කුටු ගාන්නේ බිම බලන්...තොට සැකද? "

"පිස්සුද අයියේ...මට අයියා ගැන සත පහක සැකයක් නෑ... ඔන්න එහෙනම් සඳුදා උදේ යමු.ගිහින් ඒකිගේ අයියට ඇවිද ගන්න බැරි වෙන්න ගේම දීලා එමු."

ඌ එසේ කියද්දී ඇස් දෙක කාන්තියෙන් බබලයි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන මේවා නේදැයි මටද සිතේ.අහෝ...මාගේ තරුණ කාලයත් ගත වන්නට ඇත්තේ මෙලෙසිනි.මට මා ගැනම සියුම් ලැජ්ජාවත් දැනුනි.එය ලැජ්ජාවකට වඩා යටි බඩට කිතියකි...

සඳුදා දිනය එලබෙන්නට වැඩි කාලයක් ගත නොවිනි.උදෑසන 5ට පමන භූමිකම්පාවක් මෙන් දැනුන චූටි මල්ලීගේ ඇද සෙලවීමෙන් පසු මම ඇහැරුනෙමි..දඩ බඩ ගා මුහුනට වතුර පහරක් එල්ල කරගෙනම ඩෙනිම් කලිසමකින් හා සුදු අත් දිග කමීසයකින් සැරසුනෙමි..

"ඒ..ඕයි....තමුසේ කොහේ යන්නද?"

 චූටි මල්ලී පාසල් නිල ඇදුමෙන්ම සැරසී මා වෙත දිව විත් අසයි..

"ඇයි අද වලියක් තියෙනෝ කිව්ව නේ..මේ ඒකට යන්න"

"නෙද්දකින්...ඔය ඇදුම නිකන් පන්සල් යන්න වගේ නේ..ඔහොම බෑ ඕයි වලි වලට යන්න..පොඩ්ඩක් ඉන්නවකෝ..." 

එසේ කියමින් චූටි මල්ලී කාමරයට රිංගයි..ඉන් පසුව මොකක්දෝ හැට්ටයක් මෙන් ඇදුමක් උසුලාගෙන විත් මට අන්දවයි...

"අහ්....ඔය තියෙන්නේ....දැන් නම් පට්ට මැර ලුක් එක..රැවුලත් වවන් ඉදිය නම් තමා නියමම මැරයා.හැබැයි කන්නාඩි දෙක තමා අවුල්...කෝ බලන්න..."

එසේ කියමින් පොර කන්නාඩි දෙක ගලවන්නට දිව එයි...

"අඩෝ...තෝ හදන්නේ මාව මරවන්නද...ඕක නැතුව මට පේන්නේ නෑ පොලොස් කොට්ටෝරුවෝ..ඒක නෙමේ...කාගෙයි මේ මැර ඇදුම්...?"

"වෙන කාගෙද..පොඩි අයියගේ තමා..මේ...මම ඕන ආයුධ ටික කලිසම් සාක්කු වලට දැම්මා..චෙක් කරලා බලනෝ..බැරිම උනොත් විතරක් වෙපන් එකක් පාවිච්චි කරනෝ...නැති නම් වෙපන් එකකට යන්න එපා..අතම විතරක් පාවිච්චි කරලා වැඩේ ගොඩින් ඉවරයක් කරගන්න බලමු.,."

මම සාක්කු අත ගා බැලුවෙමි..හුටා...එක සාක්කුවක ඇට බෝල විදින තුවක්කුවකි..අනෙකේ නියපොතු කපන කතුරකි.අස්සටම වන්නට රේසරයකි.."

හ්ම්ම්ම්...16-18 උන්ගේ හීන...මට නැවත සිතුනි...

"තොට කොයින්ද රේසරයක්? තොගේ රැවුල වැවෙන්නේ නෑ නේ..."

"ඕක පොඩි අයියගේ රේසරේ...කියන්නෙපා හොදේ.."

කන්නාඩිය ඉදිරිපසට ගොස් නිකමට වාගේ මම මාගේ මැර පෙනුම දෙස වරක් බලා ගත්තෙමි..ඇට සැකිල්ලක් රෙද්දකි වැසුවාක් මෙන් දිස් වෙයි.අද නම් ඉස්පිරිතාලේ ලගින්න වෙන දවසකි..වෙනදාටත් නැතුව මම බුදු පහනද පත්තු කලෙමි...ඉන් පසුව දකුණු කකුලත් ඉදිරියට තබා ගෙදරින් පිටත් වූයෙමි..

නියමිත වේලාවට විනාඩි කිහිපයක් පමන ප්‍රමාද වී දුම් රිය පැමිනියේය.අපි හනි හනිකට දුම් රියට ගොඩ වූයෙමු
ඉස්සර කාලයේදී මෙම දුම් රියේ අයිතිකාරයෝ අපිය.මෙහි චන්ඩි අපිය..මෙය පාලනය කරන්නෝද අපි වෙමු.දැන් කාලය වෙනස් වී ගොසිනි.දැන් චූටි මල්ලිලාගේ කාලයයි....

දුම් රිය පෙට්ටියේ අයිනටම වන්නට තිබූ ආසනයක ලස්සනම ලස්සන චූටි නංගියෙක් වාඩි වී සිටියාය.පෙනුමෙන් නම් ඇය නමය වසරේ විය යුතුය.කොන්ඩය තනි කරලට ගොතා ඇත.දුම් රියේ වේගවත් ගමන නිසා ඇති වන සුලගින් ඇයගේ බෙල්ල හිර වෙන්නට දමා තිබූ කොල පැහැ ටයි පටිය ඒ මේ අත වැනේ.ටයි පටිය පපුවට තද කර ගැනීමට ඇය විශාල උත්සහයක් ගනී...

 "ලොකු අයියේ..."

මා කටත් ඇරගෙන සිටිනවා දුටු චූටි මල්ලි මට ආමන්ත්‍රනය කලේය.

"මේ....අර කෙල්ලටද උඹේ හිත ගියේ.."

මම ඒ නංගී දෙටස අත දිගු කරමින් ඇසුයෙමි..

පිස්සුද ඕයි.එයා තරූශි , ඉන්නේ හික්කඩුවේ...තාත්තා බැංකුවක වැඩ කරන්නේ...ඒ කෙල්ලගෙන් මම කලින් ඇහුවා..ඒත් එයා කැමති උනේ නෑ...

"හුටා...මම උඩ ගියෙමි...දැන් හැදෙන පොඩි උන් නම් ගන්නට දෙයක් නැත...අසික්කිතය...කෙල්ල ගැන මට හිත යද්දී මුන් මගුලුත් කතා කර අවසානය.එක් අතකට මූ මගේම චූටි මල්ලීය..ඉතින් පුදුම වන්නට දෙයක් ඇත්තේම නැත...

"එහෙනම් කෝ ඕයි කෙල්ල.."

"ඒකි අද නැද්ද මන්දා...හෙන තාර බැරල් එකක් වගේ කෙල්ලෙක් ඕයි..අම්මපා මගේ නම දාලා ඕකිට ලියුම දීපු එකා අහු උනොත් මම උගේ ඔලුව පලනවා..."

මම නැවත සිනා සුනෙමි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන....


මහත තඩි තාර බැරල් එකක් සොවීමට මාගේ දෑස් දුම් රිය පෙට්ටිය පුරා එහා මෙහා ගියේය..එක් ඇසිල්ලෙක මාගේ දෑස් එක් සුපුරුදු මුහුණක් අසල නතර විය...හනි හනිකට මම ඔහු අසලට පිය මැන්නෙමි...

"අඩෝ...තරිඳු" 
 මම ඔහුව ආමන්ත්‍රණය කලෙමි.
ඔහු පුදුමයෙන් මෙන් පසු පස හැරී මා දෙස බැලුවේය,,

"අප්පටසිරි...රත්තා..." 
 ඔහු පෙරලා මාව ආමන්ත්‍රණය කලේය..

"පන්ති යන කාලේ දැක්කට පස්සේ උඹව ඔය දැක්කමයි බන්...ඉතින් ඉතින්...මොකද දැන් කරන්නේ... "
 මම ඔහු ගෙන් ඇසුවෙමි.

"දැන් ඉතින් ජොබ් එකක් කරනවා බන්...උඹ මොකද කරන්නේ.."
 ඔහු මගෙන් ඇසුවේය.

"මම ඉතින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා පව් ගෙවනෝ...ඉතින් ඉතින් අද නිවාඩුද?"
 
"පිස්සුද බන්..මොන නිවාඩුද..පොඩි කේස් එකකට ආවේ..උඹත් සෙට් උන නිසා ගේම ලේසි වෙයි.."

"මොකෝ සීන් එක, වලියක්ද? "

"ඔව් බන්...කවුද #@$#$ අපේ නංගිට ලියුමක් දීලා...ඌයි උගේ අයියයි අද එනවලු මගෙන් ගේම ඉල්ලන්න... #$#%^%^ යවන්නේ #@$#$ දෙන්නට...උන් දන්නෑ මේ තරිඳුවගේ හැටි...."
 (සංඛේත ලෙස දක්වා ඇත්තේ විශ්ව විද්‍යාල මට්ටමේ අසභ්‍ය වචන කිහිපයකි. )

එසේ කියමින් ඔහු මස් කපන පිහියක් වැනි තඩි පිහියක් අතේ තිබූ ටියුලිප් බෑගයෙන් එලියට ගත්තේය,,,

"ඉතින්, උඹ කොහේද මේ යන්නේ..."

 "මම...මේ....මේ....මම..මචන්...මම මේ... කැම්පස් එකට යනවා.. " 

කෙල ගුලි දෙකක් එක විටම ගිල දැමූ මම පැවසූවෙමි.


Sunday, 24 February 2013

එයා තාම චූටි කෙල්ලෙක්(අවසාන කොටස) - "එතකොට හසිනි කෝ? "




මම ඔබව කතාවේ මාස තුනක් ඉදිරියට ගෙන ගමි.ඒ මාස තුන තුල සිදු වූ දේ අනන්තය.අප්‍රමානය,නමුත් ඒ මතකය අවදි කර නැවත නැවත රිද්දා ගැනීමට මට නොහැකිය.මෙපමන කල් මතකය නැමති බලාපොරොත්තුවක් නිසා කතාව ලියාගෙන ගියෙමි.නමුත් දැන් ඒ බලාපොරොත්තුවත් නැත.
විශ්ව විද්‍යාල භූමිය පුරාවටම ඇති රොබරෝසියා මල් ගස් වල එකදු මලක් දක්නට නොමැත.සතියක් පිපී ඊලග සතියේ පරවී බිමට වැටෙන රොබරෝසියා මල් , මාස තුනකට පසුවද පිපී තිබේ යැයි බලාපොරොත්තුවීම අණුවන කමකි.

 නමුත් Milk bar එක අසල ඇති රොබරෝසියා මල් ගස ඒ අතින් වෙනස් කමක් උසුලයි.එකම එක රොබරෝසියා මලක් ගසෙහි ඉහලම අත්තේ පිපී තිබුනි.අප මෙහි පැමිණියේ එම පිපී තිබූ රොබරෝසියා මල ගැන සමීක්ෂනයක් කරන්නට නොවන බව මම අවධාරනය කරමි.
එන්න...අපි Milk Bar එක දෙසට ඇවිද යමු.

අප කතා නායකයා අයිස් ක්‍රීම් එකකුත් අතින් ගෙන කිරිහල අයිනට වන්නට තිබෙන බංකුවක වාඩිවී සිටියේය.නිසල් ඔහුට අනෙක් පසට වන්නට තිබෙන බංකුවේ වාඩි වී සිටියේය.දෙදෙනාම බලා සිටින්නේ මා පෙර කියූ රොබරෝසියා මල දෙසය.ඔවුන් කතාව අරඹනා ආකාරයක් පෙනෙන්නට නැත.

පාඨකය, මෙතැන රැදී සිටීමෙන් අපිට ඇති ප්‍රයොජනයක් නොමැත.අපි ගැහැණු ලමුන්ගේ නේවාසිකාගාරය වෙතට යමුද?

එම සිතුවිල්ල සිතින් පහව යද්දීම මලිත් කතාව ඇරඹුවේය.

"මම හෙට තාරිකාට කියනවා බන්"

 "හෙට නෙමේ මලිත් දවස.හෙට කලබල වැඩියි.තව ටික දවසක් ඉවසපන්" 

"හෙට තමයි දවස" 
මලිත් තීරණාත්මක හඩින් පැවසීය.

"සෙනග මහ ගොඩක් අස්සේ ඒකිට ආදරෙයි කියලා ඒකිගෙන් කැමැත්ත ගන්න පුලුවන් වේවි කියලා උඹ හිතනවද? තව ටික දවසක් යන්න ඇරපන්.ඒකි කොහොමටවත් උඹට කැමති වෙන්නේ නෑ."

"ඇයි අකමැති වෙන්නේ.අපි පොඩි උන් නෙමේ නෑ.අවුරුදු 22ක් කියන්නේ මොකක් හරි තීරණයක් තනියම හිතලා ගන්න පුලුවන් වයසක් නිසල්"

"එහෙම තීරණයක් හිතලා ගන්න පුලුවන් වයසක් නම් උඹ ඔය ප්‍රශ්නේ මට උස්සන් එන්නේ නෑ නේ.ජීවිතේ මොන වයසකදිවත් තීරණයක් තනියම හිතලා ගන්න මිනිස්සු බයයි බන්.අනික ඒකි තාම චූටි කෙල්ලෙක්.උඹ ගැන ඒකිට තියෙන ප්‍රතිරූපේ අන්තිම සවුත්තුයි.අන්තිම කියන්නේ අන්තිමම සවුත්තුයි.එහෙම තියෙද්දී ඒකි උඹට කැමති වේවිද?"

"කැමති වෙන්න හරි නොවෙන්න හරි මම හෙට තාරිකාගෙන් අහනවා"
දෙබස් අවසාන කරමින් මලිත් තීරණාත්මක හඩින් පැවසීය. 

හෙට දවස කුමක්ද? හෙට දවසේ විශේෂත්වය කුමක්ද.ඔබට මෙන්ම මටද එය මහත් වූ ප්‍රේහේලිකාවකි.නිසල් කියූ ආකාරයට නම් හෙට සෙනග ගොඩක් ගැවසෙන දිනයකි.
එන්න..මෙය දැන ගැනීමට ඇත්තේ එකම ක්‍රමයකි.අපි පීඨාධීපතිතුමාගේ කාමරයට හොරෙන් පනිමු.රාමනාදන් ශාලාවට මහ රෑ ඇතුලු වූ අපිට මෙයත් වැඩක්ද..

කවුරුත් නොමැති වෙලාවක් එනතෙක් සිට අපි කාමරයට ඇතුලු වෙමු.ඔබලා කාමරයේ අනික් තැන් සෝදිසි කරනා අතරවාරයේ මේසේය මත තිබී , හෙට දවසේ විශේෂත්වය මම සොයා ගත්තෙමි.එය ආරාධනා පත්‍රයකි.නවකයන් පිලි ගැනීමේ දිනයට කෙරෙනා ආරාධනා පත්‍රයකි.

                                             එය ආරාධනා පත්‍රයකි.නවකයන් පිලි ගැනීමේ දිනයට කෙරෙනා ආරාධනා පත්‍රයකි.


දිනය හරියටම හෙට දවසය.එසේ නම් හෙටින් පසුව සියලු සිදුවීම් අහවර වනු ඇත.

හිරු අවරට යමින් තිබේ.වෙනදා පුරුද්දට රාමනාදන් ශාලාව වෙත අඩිය එසවීමට ගියත් එම එසවූ අඩිය නැවත පසු පසට ගන්නට මටම සිදුවේ.මතකයත් මට ඔච්චම් කරනා හැටියකි. රාමනාදන් ශාලාවේ අපිට අයිති කිසිවෙකුත් නැත.සමාවන්න...මට අයිති කිසිවෙකුත් එහි නොමැත.ඉතින් අවේලාවේ එහි යෑමට මට දැන් හේතුවක් නොමැත.

පසුදා පලමු හිරු කිරණ විශ්වවිද්‍යාල භූමියට පතිත වද්දීත් බොහෝ දෙනා අවදි වී සිටියෝය.පිරිමි ලමුන්ගේ නේවාසිකාගාර වල ඇදුම් මැදීම සිදුවන්නේ තරගයට මෙනි.විටෙක එකෙක් කන්නාඩිය වෙත පැමින හැඩ බලයි.තවත් එකෙක් ඔහුව පසෙකට ඇද දමා කොණ්ඩය පීරයි.ගැහැනු ලමුන්ගේ නේවාසිකාගාර වල තත්වය කෙසේ ඇද්දැයි ඔබටම සිතා ගත හැකිය.ගැහැනු ලමුන්ගේ නේවාසිකාගාර අස්සේ ගොස් කාගෙ කාගේත් හිත් රිද්දවාගැනීමට මට අවශ්‍ය නැත.
නවක සිසුන්ට අමතරව ජ්‍යේෂ්ඨ සිසුන්ද තම තමන්ගේ ඇදුම් පැලදුම් කෙරේ විශේෂ සැලකිල්ලක් දක්වයි.අප කතා නායකයාද එසේමය.

හැද සිටි කමීසයට සුවද විලවුන් තවරමින් ඔහු කණ්නාඩිය දෙසට පිය මැන්නේය.

"අප්පට සිරි..ඇලුත් කලිසමකුයි ශර්ට් එකකුයි..උඹ අලුතින්ම ගත්තද ? " 

මලිත්ගේ ගමන නවතමින් නිසල් ඇසීය.

"නෑ බන්..මේ මල්ලිගේ ඇදුම්..මම ගෙදර ගිහින් එද්දී අරන් ආවා." ඔහු සිනාසෙමින්ම පැවසීය.

"හා හා...හොදයි හොදයි...මලමාලයා වගේ පලයන්.එතකොට තාරිකා එක පාරින්ම කැමති වේවි."

පිලිතුරු ලෙස සිනහවකින් පමනක් සංග්‍රහ කල මලිත් කන්නාඩිය ඉදිරිපිටට ගොස් කොන්ඩය පීරීම ආරම්භ කලේය.

 මේ අතර ජ්‍යේෂ්ඨ සිසුන්ගේ විධානය පරිදි නවක සිසුවෙකුගේ අතින් එල්ලී ගත් නවක සිසුවියෝ එකිනෙකා පසුපස එකිනෙකා සේ පේලි සෑදී නවතා තිබූ බස් රථවලට ගොඩවීම ආරම්භ කර තිබුනි.

                                                  නවක සිසුවෙකුගේ අතින් එල්ලී ගත් නවක සිසුවියෝ

ඔබ සිතුවා මෙන්ම තාරිකා නිර්මාල්ගේ අතේ එල්ලී සිටියාය.ජෝඩුවට එකිනෙකා නැතුවම බැරුවාක් මෙනි.සියලුම සිසුන් බස් රථ වලට ගොඩවීමෙන් පසු හෝටල් පරිශ්‍ය බලා ගමන් ආරම්භ කෙරුනි.

එතකොට හසිනි කෝ? 

ඔබ පුදුම වී මාගෙන් අසනු ඇත.ඇය කොහේ කෝ ඇති.එපමනකින් පමනක් මම පිලිතුරු දෙමි.සමහර චරිතයන් කතාවෙන් පමනක්ම නොව මාගේ ජීවිතයෙන්ද ඈත් වෙමින් තිබේ.කතාව ආරම්භයේදී තාරිකා කතා නායිකාව වූවාය.ඉන්පසුව හසිනි කතානායිකාව වූවාය.දැන් මේ කතාවට කතා නායිකාවක් නොමැත.වර්ථමානයේදී කතාවක් ලියද්දී මුහුණ දීමට සිදුවන අහියෝගය එයයි.

බස් රථ හෝටල් පරිශ්‍ය වෙත ලගා වීම්මෙන් පසුව සියලුම සිසුන් හෝටලය වෙත ඇතුලු වූවෝය.විදුලු ආලෝක රේඛා සැනෙකින් මතුවී සැනෙකින් නිවී යයි.

                                               විදුලු ආලෝක රේඛා සැනෙකින් මතුවී සැනෙකින් නිවී යයි.



සංගීත නාදය සිත් ආදරයෙන් පුරවාලයි.

මෙ සියලු සිදුවීම අතර උපැස් යුවලක් පැලදූ දෑසක් කාවදෝ සොයයි.නමුත් ඔහු සොයනා චරිතය හෝටල් ශාලාවේ සිටියේ නැත.ඇය කොහේ යන්නට ඇතිද...

                                     මෙ සියලු සිදුවීම අතර උපැස් යුවලක් පැලදූ දෑසක් කාවදෝ සොයයි

එන්න,අපි හෝටලයෙන් පිටත ආලින්දය දෙසට ඇවිද යමු.යුවතිය සිටියාය.පිටත ආලින්දයේ මුල්ලකට වී සිටියාය.ඇය ඉදිරියේ තවත් කෙනෙක් සිටියේය.ඔව්..නිසල්...ඇය ඉදිරියේ නිසල් මොන මොනවාදෝ කියමින් යුවතියට තර්ජනය කරමින් සිටියේය.

"හොදට අහගනින් නංගි.උඹට මතකයි නේ පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල්..ඒ විදිහට ආයේ කැම්පස් එක ඇතුලේ ඉන්න ඕනද?"

නැත කියන්නට මෙන් තාරිකා හිස සැකුවේය.

"සම්ප්‍රධායක් විදිහට මෙහෙම Welcome එකක් දෙද්දී සීනියර් බැජ් එකේ අයියලා එයාලා කැමති කෙල්ලෙක් තෝරගෙන එයාට ආදරෙයි කියනවා.උඹටත් කවුරු හරි කැමතියි කිව්වොත් එයාට කැමතියි කියපන් . එහෙම කිව්වේ නැති උනොත් උඹගේ ලොකු ලයින් කියලා ආයේ රැග් කරාවි.තේරුනාද?"

යුවතියට කිසිවක් තේරුනේ නැත.ඇය තේරුන ලෙසට සිටින්නට උත්සහා කරේත් නැත.විහිලුවට ආදරෙයි කියනා ලෝකයක් ගැන මේ ඇසුවාමය.

"ඒත් අයියේ, මම එහෙම කාටවත් කැමති නෑ නේ" ඇය සිහින් හඩින් පැවසුවාය.

"කැමති නැති බව ඇත්ත ඕයි.ඒත් කැමති කියලා කියපන්.ඒක මේ මොහොතට විතරයි.ඒක හැමදාම වෙන දෙයක්."

ඔහු කියනා දෙය පිලි ගනු හැරෙන්නට ඇයට විකල්පයක් නොවීය.මොහොතක් වත් පමා නොවී ඇය හෝටලය තුලට ඇතුලු වූවාය.

 ඇය පැමිනෙන තෙක් බලා සිටි පුද්ගලයා වහ වහා ඇය දෙසට ඇවිද ගියේය.ඉන් පසු ඔහු ඇය ඉදිරියේ සිට ගත්තේය.

"තරිකා..මම ඔයාට කැමතියි." 
ඔහු එය එක හුස්මට කියා දැමුවේය.යුවතියේගේ දෑස දෙස බලමින්ම ඔහු එය කියා දැමුවේය.

තාරිකා මොහොතක් නිහඩව සිටියාය..

"මමත් අයියට කැමතියි."

මෙය තවත් එක කතාවකි.ලෝකයේ සිදුවන දහසකුත් කතා අතරින් එකම එක කතාවකි.වෙනසකට ඇත්තේ එය මාගේ කතාව වීම පමනි.මෙතැන් සිට සිදු වූ සියල්ල මටත් වඩා හොදට ඔබ දනී.ඔව්...මටත් වඩා හොදටම ඔබ දනී.

 ----------------------------------------------------------------------------------------------
මතකය--

කැම්පස් එකක් කියන්නේ වෙනම ලෝකයක්.මේ ලෝකේ ඇතුලේ එක එකා ජීවත් වෙනවා. රුපියල් විසි පහක බත් එකට බෙදලා තිබුන එලවලු ව්‍යාංජන තුන දිහා බලාගෙනම මම හිතුවා.පරිප්පුයි ගෝව මැල්ලුමයි බීටුයි, හැමදාම එකම කෑම තුන.ඉදලා හිටලා දවසක සෝයා මිටි.මේවා කකා ඉගෙන ගන්නවට වඩා හොදයි කාන්තාරෙක කූඩාරමක් ගහගෙන වැලි බිස්නස් එකක් කරන් ජීවත් වෙන එක.කෑම පිගාන පේලියට තියලා තිබුන බංකු උඩ පස්ස පැත්ත ස්ථාන ගත කරලා වාඩි උනා වීතරයි අලුතෙන් ගත්තු Iphone එක නාද වෙන්න ගත්තා..

නෙද්දකින්..වෙලාවට මට මගේ ගැනම දුකයි..පාවිච්චි කරන්නේ iphone , android Mobile, ඒ උනාට කන්නේ රුපියල් තිහේ බත් එක.

"යූ අර් මයි පම්කින් පම්කින් හෙලෝ හනී බනී"

එක දිගට නාද වෙන ෆෝන් කට්ටේ සද්දේ නිසා මුලු කැන්ටිම පුරාම ඉන්න එව්වොන්ගේ අවධානේ මා වෙත ලගා වුනා.අම්මපා නිදහසේ කෑම එකක් වත් කන්න නෑ..

අඩේ...කෑම වගේද කෝල් එක කිව්වලු..හසිනිගෙන් කෝල් එකක්..මගේ හිතේ රස නහර පිනා ගියා.

"හෙලෝ..කියන්න නංගි.." 
 හෙනම පැණි ස්වරයකින් මම එයාව ඇමතුවා.

"මට අයියව Meet වෙන්න ඕන"

"කවද්ද? කොහේදිද? මොකටද?"
 මමත් ඉතින් බියංකාර වෙලාම ඇහුවා.සමර විට මේ කතාව එලකිරියෙන් ඉවර කරන්න පුලුවන් වේවි.මේ දවස එනකල් මම කොච්චර කල් බලාගෙන ඉදියද.

"අද, මේ දැන්..හම්බුනාම කියන්නම් මොකටද කියලා."

"හරි හරි..කොහේටද එන්න ඕන..? " 
කෑම එක කනවට වඩා මට සිහිය තිබුනේ හසිනිව හම්බෙන එක ගැන.

"Milk Bar එක ගාවට,ඉක්මන්ට එන්න අයියේ"
 ඒ අන්තිම වචන ටික කියපු විදිහට මට පියාඹලා යන්න හිතුනා..ඒත් පියාඹන්න බෑ නේ මට.අනික මේ සරමකුත් ඇදගෙන..හොදට හිටී...

කෑම එකත් පැත්තකට දාලා දඩ බඩ ගාලා කාමරේට දුවලා ගියා.තිබුන හොදම ඩෙනිම් කලිසම ( මල්ලිගෙන් උස්සපු කලිසම  ) ඇදගෙන ඒකටම හරියන ටී ශර්ට් කෑල්ලක් දාගත්තා.කොන්ඩෙත් ඩිංගක් වතුර ටිකක් ගාලා හදා ගත්තා.මමත් දැන් හෙනම බොලද වේගෙන එනවා වගේ.. ආදරේ කරද්දී හැමෝම එහෙමයිලු..

අල්විස් පොකුණත් පහු කරලා පාර දිගේ මම හෙමීට ඇවිදගෙන ගියා.


                                                                   අල්විස් පොකුණත් පහු කරලා පාර දිගේ මම හෙමීට ඇවිදගෙන ගියා.
 ඇවිදගෙන යන්න මට දැන් අරමුණක් තියෙනවා.වෙනදට නොතිබුන විශ්වාසයක් මට මගේ ගැන තිබුනා.බලන් ඉදපු කෙනෙක්ට ඒක පේන්නේ නැතුව ඇති.මොකද මම කණ්නාඩි දෙකත් දාගෙනමයි ඉදියේ.

Milk bar එක අයිනේ තියෙන පුංචි බංකුවක එයා වාඩි වෙලා ඉදියා.ඇගටම තදවෙන්න ඇදගෙන හිටපු ඩෙනිමයි ඊටම හරියන සුදුපාට කමීසයයි එයාගේ ලස්සන තවත් වැඩි කරනවා.කොන්ඩේටත් මොකක්ද අලුත් දෙයක් කරල.
වෙනදට හසිනිගේ ලස්සන කියාගෙන යද්දී කොහොම හරි මොකක් හරි කියලා මග ඇරපු මම අද ඒ ලස්සන කිසිම ගානක් නැතුව කියාගෙන යනවා.මේ කතාවේ දවස් හැගීම් ඔක්ම එක මොහොතකින් වෙනස් වෙනවා

"සහන් අයියා" 
එහෙම කියාගෙනම හසිනි නැගිට්ටා.දුවලා ගිහිල්ලා එයාව තුරුල් කරගන්න තියෙනව නම්.හෝව්...ඉක්මන් නොවී හිටපන් හිත.ඒකට උඹට කවද හරි කාලයක් ඒවි.

"නංගි, ඇයි හදිස්සියේම"

"ප්‍රශ්නයක් අයියේ.ලොකු එකක්" 
කියාගෙන්න බැරි දේවල් හිතේ තියෙද්දී මොන කෙල්ලත් හැසිරෙන්න ඔහොමයි.

"ප්‍රශ්නේ විසදගන්න කලින් මම මොනව හරි අරන් එන්නම්" 
එහෙම කියාගෙනම milk bar එකේ කවුන්ටර් එක ලගට ගිහිල්ලා රුපියල් 30 අයිස්ක්‍රීම් දෙකක් ගත්තා.දවල්ට කන්න සල්ලිත් නෑ.ඒත් කන්නේ අයිස්ක්‍රීම්.

 "ඉතින් කියන්න, මොකක්ද ප්‍රශ්නේ"

"අයියා ලියන කතාව ගැන ප්‍රශ්නයක්"

මලා..එතකොට තමා මතක් උනේ සති දෙකකින් විතර කතාව ලියලා නෑ කියලා.මොනා කරන්නද..කතා ලියන්නයි ඉගෙන ගන්නයි දෙකක් කරන්න බෑ නේ.

"මේ ඉරිදා තව කොටසක් දාන්න ඉන්නේ නංගි" 
මම තව කොටසක් කියලා එයාට කිව්වේ මේ කතාව හය වෙනි කොටසින් ඉවර කරන්න හිතාගෙන නෙමේ.මේ කතාවේ තව කොටස් තියෙනවා.තව ගොඩාක් කොටස් තියෙනවා.ඒත් මොකක් හරි කරුමෙකට මතකය කියලා කොටසක් ලියන්න අරගෙන හැමදේම මම පටලවා ගත්තා.වර්ථමානෙත් එක්ක කතාව ලියාගෙන යද්දී වෙනසක් වේවි කියලා හිතුවා.ඔව්..ඒක වෙනසක් උනා..ඒත් ඒකම ප්‍රශ්නයකුත් වෙනවා.

"ඊලග කොටස නෙමේ අයියේ.ඒ කතාවේ අයියා මගේ ගැන ලියව විදිහට මම කැමති නෑ"

"මොකක්ද.? පණ්ඩිත කෙල්ල කියලා කියපු එකද? ඉතින් මම දැන් එහෙම ලියන්නේ නෑ නේ"

"නෑ නෑ...අයියට මගේ ගැන interest එකක් තියෙනවා කියලා හිතෙන විදිහට ලියන එක"

"ඉතින් එහෙම එකක් තියෙනවනේ" 
මට එකපාරටම එහෙම කියන්නත් හිතුනා.ඒත් කෙල්ලගේ හිතේ තව මොනවදෝ තියෙනව වගේ.

"ඔයා ලියන කතාව නිසා මට හැමොමලා විහිලු කරනවා අයියේ,එයාලා හිතන්නේ ඔයයි මමයි අතරේ afire එකක් තියෙනවා කියලා"

ඒ විහිලුව ඇත්තක් වෙනව නම්...

"මට නම් ඒකේ ප්‍රශ්නයක් නෑ..ඒත් සඳුන්"

"සඳුන්?" 

මම පුදුම වෙලා ඇහුවා..සත්තයි මම පුදුම උනා.

"ඔව් අයියේ..සඳුන්..එයා තමා කිව්වේ අයියත් එක්ක මේක කතා කරන්න කියලා.දැන් එයා මෙතනට එයි."

අයිස්ක්‍රීම් එකත් දියවෙලා බිමට වැටෙන්න යනවා වගේ.හැම කතාවකම කතානායිකාවගේ යාලුවට කොල්ලෙක් නෑ කියන කතාව බොරුවක්..ඒක පට්ටපල් බොරුවක්..එහෙම වෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිලා ලියන නවකතාවල විතරයි කියලා මට අමතකම වෙලා ගියා.දෙයියනේ..මම ලියන්නේ සැබෑලෝකයේ කතාවක්.මේක මට වෙච්ච කතාව.ඉතින් මම එහෙම හිතුවේ කොහොමද.මේක මම කලින් දැනගෙන ඉදිය නම්..මතකයට බම්බුහැහිලා ගිය දෙන්..

හිතුවිලි අස්සේ හිරවෙලා ඉන්දැද්දි හසිනිගේ මූණේ හිනාවක්..මම එයා හිනා වුනේ ඇයි කියලා පිටිපස්ස හැරිලා බැලුවා.ඔව්..ඒ සඳුන්...
සඳුන් අපින් දෙන්නා අතරට ආවා..ඒ දෙන්නා මගේ ඉස්සරහම අතින් අල්ලගත්තා. 

"මේ ඉන්නේ සඳුන් අයියේ.එයා මෙඩිකල් ෆැකල්ටි එකේ."

හසිනි හිනා වෙනවා..මමත් බොරුවට හරි හිනා වෙනවා,කණ්නාඩි දෙක දාගෙන නිසා මම අඩනවා කියලා කාටවත් පේන්නේ නෑ.
 මම මේ ලියාගෙන යන විදිහ බොලදයි කියලා ඔයාලා කියාවි.ඔව්...මේක හෙනම බොලදයි..ඒත් එතන ඉදියේ මම..ඒකේ වේදනාව දන්නේ මම..ඉතින් මට බොලද වෙන්න ඉඩ දෙන්න..ගොඩාක් බොලද වෙන්න ඉඩ දෙන්න..

එයාලා දෙන්නා මොන මොනවද කිව්වා..මමත් ඔහේ අහගෙන ඉදියා.අයිස්ක්‍රීම් එකත් දියවෙලා අත දිගේ පහලට වැටෙනවා.මම මෝඩයෙක් වගේ හිනා වෙවී බලාගෙන ඉන්නවා..

විනාඩි පහලවකට විතර පස්සේ මම ආයේ එන්න හැරුනා. ගජසිංහ පාලම ගාවට වෙනකල් අරමුණක් නැතුව ඇවිල්ලා නිකමට හැරිලා බැලුවා..මම අරන්දීපු අයිස්ක්‍රීම් එක දෙන්නත් එක්කම තුරුල් වෙලා රසකර කර කනවා..අමාරුවෙන් හරි හිනාවෙලා මගේ ෆෝන් එක අරගෙන හසිනිට යවපු අන්තිම මැසේජ් එක මම යැව්වා...
"I'm very Sorry.Just Ignore Everything." 


හිනැහෙමින් ඔය දෑත පටලවන් මුමුණන්න
බිම වැටුනු රොබරෝසි මල් මත්තේ ඇවිදින්න
කාටවත් නොපෙනෙන්න ඔය දෙතොල සිප ගන්න
සිහින මැව්වා මදිද ඔයා මට හිමි වෙන්න

වල පැත්තේ දවාලෙත් පෙම්වතුන් ඇවිදිනවා
මහ රෑට සීතලට උන් තුරුලු වී එනවා
පොද වැස්ස වැටුනාම කුඩ අස්සේ ගුලි වෙනවා
 තාමටත් මගේ තනිය හන්තාන පුරවනවා
                                  -සහන්/(මලිත්)-

Saturday, 9 February 2013

එයා තාම චුටි කෙල්ලෙක්(පස්වන කොටස) - "මම ඔයාට ආදරෙයි.මාව බදිනවද?"

ඉර බැසයමින් තිබේ..හන්තාන කන්ද දෙසින් ඉර බැසයන එන හැටි කියා ඔබව අමුතුම අලුත්ම ලෝකයකට රැගෙන යාමට මට උවමනා නැත.කෙදිනක හෝ ඔබත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිනියහොත් ඒ ලස්සන ඔබගේ දෑසින්ම දැක ගත හැකි වනු ඇත.හැකි පමන ඉක්මනින් මේ කතාව ලියා අවසන් කිරීම මගේ එකම අරමුණ වී තිබේ.විශ්ව විද්‍යාලය තව දින කිහිපයකින් පටන් ගනු ඇත.ඉන් පසු මෙම කතාව ලියාගෙන යෑම ඉතාමත් අපහසු වනු ඇත.

පස්වරු හයත් පසු වී තිබේ.
එන්න...අපි හෙමිහිට කතානායිකාවන්ගේ කාමරයට රිංගමු.සමාවන්න.දැන් මේ කාමරයට හොරෙන් රිංගිය යුතු නැත...අපි කාමරයට ඇතුලු වෙමු..යුවතියන්ගේ කාමරය දැන් අපේ කාමරයකටත් වඩා හුරු පුරුදු වී තිබේ.

කාමරයට ඇතුලු වූ වහාම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් කනේ තබාගෙන කාමරයේ ඒ කොනටත් මේ කොනටත් ඇවිදියි.කලවා යන්තම් වැසෙන සේ ඇද සිටි කොටම කොට කලිසම් පොඩියත් සිහින් පටි සහිත ස්කිනියත් ඇයට ක්‍රීඩාශීලී පෙනුමක් ගෙන දෙයි.
රාත්‍රී ඇදුමට මොන ක්‍රීඩාශීලී පෙනුමක්ද...
ඇය වරෙක නොසන්සුන් ශබ්දයක් මුවෙන් පිටකරයි..ඉන් පසු නැවත ජංගම දුරකතනයේ අංක කලබලයෙන් ඔබයි...

මා කතාව පටන් ගත් දිනයේදීම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් රැගෙන එහේ මෙහේ ඇවිදියි යැයි කියුවා නම් ඔබ එක් වරම
 "ආ....ඒ නම් තාරිකා" 
යැයි පවසනු ඇත.ඒත් දැන් දැන් කතාව වෙනස් වෙමින් පවතී.ඒ සුන්දර යුවතිය හසිනි බව දෙවරක් නොසිතාම ඔබ පවසනු ඇත.

ජංගම දුරකතනයත් රැගෙන ඇය මේ අමතන්නට උත්සහා කරන්නේ කාටදැයි මා සිතටද සැකයක් දැනේ..

සෑම ප්‍රේම කතාවකම මෙන් කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩයි යන මතය ඇය බිද දමාවිද?

හිතවත් පාඨකය..මගේ සීතටද සියුම් දුකක් දැනේ..නිගමනයකට එලඹීමට පෙර අපි තාරිකා කොහේදැයි සොයා බලමු..කාමරය පුරා සොයා බැලුවද ඇයගේ සලකුණක් වත් නොමැත.

"බාත් රූම් එකේ බැලුවද?"
ඔබ මගෙන් විමසනු ඇත.
ඔබ එය පැවසීමටත් ප්‍රතමයෙන් මා එය පරීක්ෂා කර බැලූයෙමි.කාමරයේ සෑම තැනක්ම යනුවෙන් මා අදහස් කලේ එබැවිනි.

කාමර පරීක්ෂාව අවසන් වෙද්දීම වාගේ දොරට තට්ටු කරනා හඩක් ඇසුනි.අතේ තිබූ ජංගම දුරකතනය ඇද මෙට්ටය මතට අත හැර දැමූ හසිනි , වහ වහා දිව ගොස් දොර විවෘත කලාය.එලවලු පිරවූ මලු දෙකකුත් අත් දෙකේ රදවාගෙන තාරිකා දොර ඉදිරිපිට සිටියාය.

"කොහේද බන් ගියේ..මම දැන් පැය භාගෙක ඉදලා කෝල් කරනවා උඹට..ෆෝන් එකත් ඕෆ් කරගෙන.."

එසේ නම් ඇය කලබලයෙන් මෙන් ඇමතුම් ලබා දී ඇත්තේ තාරිකාටය.දැන් නම් හිතේ සතුටින් කතාව ලියාගෙන යෑමට හැකිය. 

එලවලු මලු දෙක වරක් ඔසවා හසිනි ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් තාරිකා කාමරයට ඇතුලු වූවාය.

"යන දේවස්තානෙක කෝල් කරලා යන්න එපැයි හරකියේ.තව ටිකක් බලලා මම වෝඩ්න් මැඩම්ට කියන්න ඉදියේ "

"මම උදේ කිව්වනේ බන් හවස එලවලු ගේන්න යනවා කියලා"

"එලවලුවක් ගැන නම් කිව්වේ නෑ..නිර්මාලයා ගැන නම් උදේ කියලා ගියා වගේ මතකයි"

"අනේ මේ නිකන් ඉදපන් කතා හදන්න නැතිව.උගේ හිතේ ඔහොම මගුල් විකාර නෑ.."

"හ්ම්ම්ම්...කැරට් , ලීක්ස් ....යකෝ මේවා ගන්න වෙච්චර වෙලා යනවද? නුවර ටවුමේ උඹ කැරට් වැව්වද? "

එලවලු මල්ල අවුස්සමින් තාරිකා ඇසුවාය.

"තනියම නෙමේ බන් ගියේ..නිර්මාල් එක්ක ගියේ..ඌටත් මොනාද බඩු වගයක් ගන්න ඕන කිව්වා.උගේ බඩු තෝරන්න ගිහින් තමා මෙච්චරම වෙලා ගියේ.."

"ආයි අෆ්ෆා....මුන් දැන් සවාරිත් යනවනේ..ඔහොම්ම හනිමුන් එකත් පලයන්..අපිට කියන්නවත් එපා.."

"අනේ නිකන් කතා හදන්නේ නැතුව ඉදපන්..හොදටම මහන්සියි බන්..මම යනවා වොශ් එකක් දාගන්න...ඔය ටවල් එක මෙහෙට දාපන්"
තුවාය ඉල්ලා සිටිමින් තාරිකා තම අත දිගු කලාය.

හසිනි මොහොතකට නැවතුනාය..ඉන් පසු තාරිකා දෙසට වේගයෙන් දිව ආවාය...

ඇය දිව එද්දීම තාරිකා දකුණු අත එක් වරෙම පසුපසට කර හංගා ගත්තාය..එම අතේ කුමක් හෝ හොරයක් තිබේ.එය අප දැන ගත යුතුමය.
මම ඔබට නැවත මතක් කරමි.කාමරය තුලට ආවාට යුවතියන්ගේ අතින් ඇල්ලීමට අපට අවසර නැත.ඉතින් හසිනි අත අල්ලාගෙන හොරය කුමක් දැයි බලාගන්නා තුරු අපිට ඉවසා සිටිය යුතුවේ.

"පෙන්නපන්...පෙන්නපන් අත..." 
එසේ කෑ ගසමින් හසිනි , තාරිකාව ඇද මත පෙරලා ගත්තාය.ඉන් පසු පිටුපසට කල අත අඹරවා ඉදිරියට ගත්තාය.

ඇයගේ අතේ රෝස පැහැ අත් පලදනාවකි.එහි තැනින් තැන පබලු අල්ලා තිබේ.මට නම් එහි ලස්සනක් නොපෙනේ..නමුත් හසිනිට නම් එය හිතට අල්ලා තිබෙන සෙයකි..

"නිර්මාලයා නේද දුන්නේ..ඇත්ත කියපන්...නැතිනම්.." 
අඹරවා අල්වාගත් අත වම් පැත්තට කරකවමින් හසිනි කෑගැසුවාය.

"ආ...ආ....ඔව් ඔව්...අත ඇඇරපන්....කියන්නම්..." 
තාරිකා පින් සේන්ඩු වූවාය,

"'හරි දැන් කියපන්..."
අඹරවා  තිබූ දෑත නිදහස් කරමින් හසිනි ඇද මත හරි බරි ගැසූ වාඩි වූවාය.

"ඔරලෝසු කනුව යට උමග තියෙන්නේ.."

"ඔව්..ඉතින්.."

ඒකේ තිබුණ කඩේක මේක තිබුනේ..මම එතනින් නිකන් යන ගමන් නිර්මාල්ට කිව්වා මේ බ්‍රේස්ලට් එක ලස්සනයි කියලා..එච්චරමයි කිව්වේ...ඊට පස්සේ.."

"හෝව් හිටහන්....ඉතුරු ටික මම කියන්නම්"
 හසිනි මැද්දට පැන්නාය..
මම දැන් ඇයට පන්ඩිත කෙල්ල යැ‍යි නොකියමි.ඒ ඇයගේ හැටිය..මීට පෙර දිනක කවුදෝ කෙනෙක් ඇයට පන්ඩිත කෙල්ල යැ‍යි නොකියන ලෙස ඉල්ලා සිටියාය.ඉතින් පාඨකය, ඇය පණ්ඩිත කෙල්ලක් නොවේ.

"උඹ එලවලු මාකට් එකේ එලවලු තෝරන අතරේ ඌ උඹටත් හොරෙන් ගිහිල්ලා ඔය බ්‍රේස්ලට් එක අරගෙන ඇවිල්ලා උඹේ අතින් අල්ලලා....." 

එසේ කියමින් ඇය එක් දණහිසක් නවමින් ඉදගෙන තාරිකාගේ අතින් අල්ලා ගත්තාය.

"තාරි...මාගේ කුලුදුලේ කරනා පස් වෙනි ප්‍රේමය පිලිගන්න ...කියලා බ්‍රේස්ලට් එක උඹේ අතේ බැන්දා"

"අනේ පලයන් යන්න..බැන්දේ නෑ බන්...මට දුන්නා..."

 "හරි හරි...දුන්නත් එකයි බැන්දත් එකයි..හැබැයි මගුල මටත් කියපන් හොදේ.."

"අනේ බයිලා නවත්ත ගනින්..මම යනවා නාගන්න"

තුවායත් කරේ දමාගනිමින් තාරිකා නානකාමරය දෙසට හැරුනාය..

"ඒ..මේ පොඩ්ඩක් ඉදපන්..අද මාර වැඩක් උනානේ..."

"මොකක්ද? උඹ අර උදේ කලබලෙන් කෝල් කරලා හවසට කියන්නම් කියපු සීන් එකද?"

"ඔව් ඔව් බන්..ඒක තමා."

"ඉතින් මොකක්ද උනේ?

"පොට්ටයා මගේ පස්සෙන් ඇවිල්ලා උඹේ ෆෝන් නම්බර් එක ඉල්ලුවනේ.."

තාරිකාගේ දෑස් උඩගියාය..නානකාමරය දෙසට තැබූ දෙපය ආපසු ඉබේම හැරුනි.

"ඉතින් උඹ දුන්නද?

"පිස්සුද...මම කිව්වා උඹේ ෆෝන් නම්බර් එක තියෙන්නේ මගේ ෆෝන් එකේ, මම ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කියලා..."

"අම්මෝ.,..ඇති යන්තම් උඹට එහෙම බොරුවක් වත් කියාගන්න මොලේ තිබුනා.."

"මොලේ නෙමේ..හෙට උදේට මම ඉවරයි.."

"ඇයි?"

"මම උඹට කෝල් කරපු වෙලේ , ඌ දැක්කා මගේ අතේ ෆෝන් එක තියෙනවා.."

දහවල් වරුවේ සිදු වූ සියලු සිදුවීම් ඔබත් , මමත් , මලිතුත් , හසිනිත් හොදාකාරවම දනීමු..නොදන්නේ තාරිකා පමනි.ඉතින් හසිනි සියලු විස්තර තාරිකාට පවසන තෙක් අපි පිරිමි නේවාසිකාගාරය වෙත ඉක්මන් ගමනින් ඇවිද යමු..

නිතර නිතර රාමනාදන් ශාලාවේ යුවතියන්ගේ කාමරයේම රැදී සිටි නිසා අක්බාර් ශාලාවත් දැන් නුහුරුය.කෙසේ හෝ නිර්මාල්ගේ කාමරය සොයාගෙන අපි එයට ඇතුලු වෙමු..

අපි කාමරයට ඇතුලු වෙද්දීත් කාමරය ඇතුලත කතාවක් සිදුවෙමින් පවතී.

"රුපියල් 100ක් ඉවරයි එහෙනම්" 
කාමරය තුල සිටි මිතුරා නිර්මාල්ගෙන් අසයි..

"100 වගේද බන් මේක ගොඩ ගියොත්"

"දැන් බලපන්..මුලින් ඔය අතේ බදින මල ඉලව්ව..පස්සේ සෙන්ට් බෝතල්..පස්සේ ඇදුම්...දවල් කෑම..කෙල්ලෙක් එක්ක යාලු උනාම ඔය දේවල් වලට බජට් එක වෙන් කරන්න වෙනවා.රුපියල් විසි පහේ කෑම එක කාලා ඉන්න අපිට මොන බ්‍රේස්ලට් ද බන්" 

ඇද රෙද්ද ගසමින් මිතුරා පැවසුවේය.

"උඹට ඔය ඉරිසියාව තියෙන්නේ..ඔන්න ඔය ලයිට් එක ඕෆ් කරලා නිදාගනින්..හෙට උදේම යන්න තියෙනවා.."

යුවතියන්ගේ කාමරයේ අපි ගත කල වේලාව හොදටම වැඩිය.පිරිමි ලමුන්ගේ දෙබස් වලින් අපට ඇසුනේ අවසාන දෙබ්ස් කිහිපය පමනි..

"ක්ලික්" 
හඩින් පසු කාමරයම අදුරේ වෙලුනි.

දැන් නම් තවත් කොහේ හෝ යන්නට කම්මැලිය.හෙට උදේ වන තෙක් අපිත් කොහේ හෝ වැටී නිදා ගනිමු..
ගැහැනු ලමෝ මෙය කියවයි නම් ඔබට මෙහි නිදා ගැනීමට අවසර නැත.මෙය පිරිමි නේවාසිකාගාරයකි..

පසු දිනයේ සූර්යා අහසේ නැග එද්දීත් පිරිමි ලමෝ දෙදෙන හොදටම නිදිය.තව දුරටත් මෙහි රැදී සිටීමෙන් පලක් නොමැත.එන්න අපි රාමනාදන් ශාලාව වෙත පිය මනිමු.

අපි ඒ දෙසට ඇවිද යද්දීත් තාරිකා සහ හසිනි හාදු වංගුවත් පසු කර තිබුනාය.හසිනි ඇද සිටියේ සුදු පැහැ කමීසයකි.සුදු පැහැය ඇයට හොදින් ගැලපේ.කලු පැහැයද එසේමය.ඇයට ගැලපෙනා ඇදුම් මොනවා දැයි ඔබටම තේරුම් ගැනීමට හැකි වන ලෙස ඇයගේ ඡායාරූපයක් බ්ලොග් අඩවියේම දැමීමට මට සිත් දෙයි.ඇයගේ Facebook Account එකේ ඇය පමනක් තනිව සිටිනා ඡායාරූප කිසිත් නැත.එබැවින් මම එම අදහස අත් හැර ගතිමි.අනික මෙහි ඡායාරූපයක් දැමුවහොත් හොද නැත්තේ ඇයටය.මටත් නොදැනීම මගේ හිතත් ඇය ගැන වද වෙනවා මට හැගේ.
කතාව ගලායන ආකාරය නිසා තාරිකාගේ ඇදුම් පැලදුම් විස්තර කිරීමෙන් මම වැලකී සිටිමි.

"නංගි"

නැවතත් පෙර තිබූ ගොරෝසුකටහඩම පිටු පසින් ඇසුනි.මෙවර එය සැරපරුශ ලෙස ඇසුනේ නැත..එය විදානයක්ද නොවීය..එබැවින් යුවතියෝ දෙදෙන එක තැනම නතර වූවාය.

"උදේ ලෙක්චර්ද?" 
කවදාවත් අසා නොමැති අහිංසක හඩකින් මලිත් ඇසුවේය.

"ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
පිලිතුර හසිනිගෙනි..

උඹෙන් නෙමේ නංගි ඇහුවේ..මම ඇහුවේ තාරාවගෙන් 

 "ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
 තාරිකාද පිලිතුරු දුන්නාය,

 "අනේ මේ..දැන් සාමාන්‍ය කතාවක් යන්නේ...ජ්‍යේෂ්ඨතුමා කෑලි ඕන නෑ..."

"නියපොතු වල පාට මැකුණද?"

"ඔව් ජ්‍යේශ්ඨතුමා.."

"අයියේ කියපන් බන්...සාමාන්‍ය කතාවක් යන්නේ.."

"ඔව් අයියේ..."

"ඒවා මකන් එන්න කිව්වේ උඹලා එක්ක තරහට නෙමේ බන්..මේකට එන්නේ සාමාන්‍ය අම්මා තාත්තගේ එව්වෝ.නිකමට හිතපන්..උඹ මේකප් දාලා මාල දාලා මාර පොශ් විදිහට ආවට පස්සේ මේකප් දාන්න තියා දවල්ට කන්නවත් සල්ලි හොයාගන්න අමාරු අම්මා තාත්තගේ එකාට දුක හිතෙනවා නේද? "

"ඔව් අයියේ.."

"අන්න ඒකයි එහෙම එන්න කිව්වේ...නැතුව තරහකට නෙමේ.."
 මලිත් එසේ පවසමින්ම හසිනි දෙස හැරුනේය.

"මම උඹෙන් ෆෝන් නම්බර් එකක් ඉල්ලුවේ මේ ටික කියන්න..මේක උඹලට කිව්වේ නැති නම් හිතයි අපි මහා යක්කු ජාතියක් කියලා" 

"දැන් පලයල්ලා"

එම විදානයත් සමගම යුවතියෝ දෙදෙන ආපසු හැරුනෝය.පියවරක් ඉදිරියට තබද්දීම 

"ඔහොම නැවතියල්ලා.."

යුවතියෝ නැවතුනෝය.අහිංසක මලිත් ගේ කටහඩ වෙනුවට වෙනත් කටහඩක් ආදේශ වී තිබුනි..

"පෙන්නපන් උඹේ අත" 
තාරිකා දෙසට අත දිගු කරමින් මලිත් තර්ජණය කලේය,

තාරිකා බියෙන් අත දිගු කලාය.ඇයගේ අතෙගි තිබූ රෝස පැහැති අත් පලදනාව තම අතින් අල්ලා ගත් මලිත් තාරිකාගේ දෑස දෙස එක එල්ලේ බැලුවාය.උපැස් යුවල නිසා මලිත්ගේ දෑස තාරිකාට එක එල්ලයේ නොපෙනේ..නමුත් උපැස් යුවල පිටුපස ඇති දෑස් කෝපයෙන් දිලිසෙනු ඇතයි ඇයට සිතුනාය.

එක පාරක් නිදහස දුන්නාම තොපි එනවද මේක කෝලම් මඩුවක් කරන්න..ගලවපිය තොගේ අතේ තියන බලු පටිය...

"උඹට හෙන ආතල් ඇති නේ නංගි..උඹලා හෙන පොශ් කෙල්ලෝ නේ.." 
අත් පලදනාව තම අතට ගනිමින් මලිත් පැවසුවේය.

තාරිකාගේ දෑසේ පනින්නට ඔන්න මෙන්න පොරකන කදුලු බිදු දෙකකි.මා කතාව ආරම්භයේත් ඔබය යමක් කියූවෙමි..
සත්තකින්ම යුවතියට මේවා හුරුපුරුදු නැත..

"ඉක්මන්ට යන්න ඕන නේ උඹලට..හිටපල්ලකෝ.."

මලිත් කිහිප වරක් වට පිට බැලුවේය.ඉන් පසු නැවත කතා කරන්නට පටන් ගත්තේය.

"මේ පාරේ ඇවිදගෙන එන හැම කොල්ලා ගාවටම ඔලුව පහත් කරගෙන ගිහින් මම මේ කියන හැම අකුරක්ම අඩු කරන්නේ නැතුව කියපන්.ඇහුනද උඹට?"

"ඇහුනා ජ්‍යේශඨතුමා..."

"ගිහින් පද්ද පද්ද කියපන්..මෙහෙම...."

එසේ කියමින් මලිත් තාරිකාගේ දෑස් දෙස බැලුවේය..යුවතිය හඩන්නට ඉකිබිදිමින් මලිත් දෙස බලා සිටී..

"මම ඔයාට ආදරේයි...මාව බදිනවද?"

ඉන් පසු තත්පර තුන හතරක නිශ්ෂබ්දතාවයකි..

"හරි දැන් මට කියපන්.."

යුවතිය ගොලු වී සිටියි.මලිත් ඇය දෙස කන්නට මෙන් බලා සිටියි..කිසිත් කරන්නට නොහැකි තැන ඇය එම වචන කිහිපය කියන්නට තීරණය කලාය.

"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?" 
යුවතිය කට පාඩමෙන් මෙන් කියාගෙන ගියාය..

"යකෝ උඹ කවද හරි ආදරේ කරන්නේ පිදුරුතලාගල කන්දටද?..හැගීමෙන් කියපිය"

"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?.." 

යුවතිය එවර නම් හැගීමෙන් කියුවාය.කොතරම් හැගීමෙන් කියුවාදැයි කිවහොත් මලිත් ඇය දෙස තත්පර පහකට වැඩි කාලයක් නිසලව බලා සිටියේය..
සිතුවිලි දැහැනෙන් මිදුනු ඔහු ඉන් පසු කතා කලේය..

"ආන්න හරි...දැන් ඕක කිය කිය පලයන්...එකෙක්ට හරි කියන්නේ නැතුව ගිහින් තිබුනොත් බලා ගමු.."

යුවතියෝ දෙවන වරටද ආපසු හැරුනෝය..

"ඒයි උඹ කොහේද හැරෙන්නේ...උඹට යන්න කිව්වේ නෑ.."

ඒ තර්ජනය හසිනිටය....

හසිනි සහ මලිත් තනිකරමින් තාරිකා ගියේය.
ඇය පසුකර යන සියලු පිරිමි ලමෝ සිනහසෙමින් යනු පමනක් ඈතට පෙනුනි..

"උඹ අල්ලගන්න තමා ඉදියේ..උඹ ඊයේ ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කිව්වා නේ.."

 හසිනි උඩ ගොස් බිම වැටුනාය..තාරිකාට වඩා යමක් ඇයට සිදුවීමට යන බව ඇයට ඉවෙන් මෙන් වැටහුනාය..

ඇයට සිදුවන්නේ කුමක්ද..මෙම කතාව කියවන ඔබ , මා එය පවසන තෙක් නොයිවසිල්ලෙන් බලා සිටිනවා ඇත..නමුත් සමාවන්න..එය මම සහ හසිනි පමනක් දැන සිටීම ප්‍රමානවත්ය.කතාව කියනවා යැයි ඔබට පොරොන්දු වූවාට කතාවේ හැමදේම ඔබට පවසන බවට මම පොරොන්දු නොවුනෙමි.ඉතින් අද කතාව මම මෙතැනින් නවත්වමි.මේ කතාව ලියන්නේ මමය.ඉතින් මා ලියන්නේ මට වුවමනා කරනා දේවල් පමනි..

-------------------------------------------------------------------------------------

මතකය - 

කැම්පස් පටන් ගන්නේ 18 වෙනිදා උනාට ගෙදර ඉදලාම දැන් ඇති වෙලා.හැමදාම ඒකාකාරීව ජීවිතේ ගෙවන්න බෑ.ඕන දෙයක් කියලා හිතලා මම අදම කැම්පස් යනවා කියලා හිතාගෙන අල්මාරිය ඇරලා අදින්න ඇදුම් තුන හතරක් අරන් නවලා ඇද උඩින් තිබ්බා.ඇදුම් දාන්න බෑග් එක හොයනකොටයි තේරුනේ බෑග් එක මේසේ උඩ නෑ.ම්ට හොදට මතකයි ඊයෙත් බෑග් එක මේසේ උඩ තිබුනා කියලා.අම්මා හෝදන්න දාලද දන්නෑ..

ඉක්මනට ඉක්මනට අම්මා ගාවට දුවලා ගියා.බෑග් එක හේදුවට කමක් නෑ බෑග් එකේ පොඩි pocket එකේ shipper එක අම්ම ඇරලා බැලුවොත්.එහෙම උනොත් විනාසයි.

හිතුවා වගේම බෑග් එක රෙදි වැලේ වේලෙන්න දාලා..
දන්න හැම දෙයියෙක්වම සිහි කර කර ගිහින් බෑග් එක වැලෙන් අර ගත්තා..ඉස්සෙල්ලාම අත ගියේ පොඩි pocket එකට..

හුටා...

හිතුවා වගේම මෙච්චර කල් පරිස්සම් කරපු දේ එතන නෑ..
හිතේ සැකේ යන්න දෙපාරක් තුන් පාරක් බෑග් එක එහාට මෙහාට පෙරලා පෙරලා බැලුවා.

"මොකක්ද හොයන්නේ?  , මේකද?"

පිටිපස්සෙන් ආපු සද්දයක් නිසා මම හැරිලා බැලුවා...

අයියනායක දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ.. රෝස පාට ඇට ඇට තියෙන බ්‍රේස්ලට් එකත් අතේ තියාගෙන අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා..

"ඔය මොකක්ද?.ඕකක් නෙමේ මම හෙව්වේ...මේක ඇතුලේ මම කරපු Assignment එකක් තිබුනා.ඒක දැන් නෑ...අම්මා හෝදද්දී ඒක අයින් කරාද?"

අතේ පැලවෙන කෙබ්බයක් දෙපාරක් හිතන්නේ නැතුවම මම ඇදලා ඇරියා.
 
"ඔය පොඩි පොකට් එකේ කොහොමද Assignment එකක් දාන්නේ.."
හුටා..
එතකොට තමා මටත් ඒක මතක් උනේ..දැන් දීපන්කෝ උත්තර..

 "නෑ නෑ...Assignment එකක කටු සහහන් වගයක්.."

කටුසටනක් නෑ තිබුනේ නෑ.මේන් මේක නම් තිබුනා..."

බ්‍රේස්ලට් එක මගේ ඇස් ඉස්සරහ එහාට මෙහාට වැනෙනවා...දෛවයත් කොලොප්පම් කරන්නේ මටම නේ..

"ඕක ෆැකල්ටියේ කාගේ හරි කෙල්ලෙක්ගේ වෙන්න ඇති.ට්‍රිප් යද්දී බෑග් මාරු කරගන්නව නේ..එතකොට අමතක වෙන්න ඇති."

මුලින් කියපු බොරුත් බොරු වෙන විදිහේ බොරු ටිකක් ඇදලා බාලා වැඩේ හොදටම නෝන්ඩි වේගෙන එනකොට බ්‍රේස්ලට් එකත් අරගෙන මම පැනගත්තා.

බඩු ටිකත් ලෑස්ති කරගෙන එලියට අඩිය තියද්දිම චූටි මල්ලී පන්ති ඇරිලා ගෙදර එනවා..

"කොහේද යන්නේ?"

"මම යන යන තැන තොට කියන්න තෝ ජනාඪිපතිතුමාද?"

"ඔව් ඒ වගේ...කැම්පස් එකට නේ යන්නේ?"

"ඔව් කැම්පස් එකට තමා "

"ඉතින් අයියේ 18 නේ කැම්පස් පටන් ගන්නේ...දැන්ම යන්නේ මොකො? "

"තොට නෑනා කෙනෙක් ගේන්න යන්නේ"

 එහෙම කියාගෙනම මම ඉස්සරහට ගියා...
ඇයි වදේ..අපි යන තැන් දැන් අම්මට , තාත්තට අමතරව මල්ලිලාටත් කියන්න වෙලානේ.

"මේ...ලොකු අයියේ..."

මම හැරිලා චූටි මල්ලි දිහා බැලුවා.. 

"කවුද නෑනා..? හසිනි අක්කද? තාරිකා අක්කද?  " 

"හසිනි අක්කා

මම එහෙම කියන්න හිතලත් කට වහගෙන එතනින් මාරු උනා.කොච්චර කරත් චූටි මල්ලිට නෝන්ඩි වෙන්න බෑ නේ..ඕක තමා කියන්නේ බ්ලොග් එකක කතාවක් ලිව්වත් ඒක මල්ලිලට අහු වෙන්න ලියන්න එපා කියලා..

කොච්චියෙන්ම කොළඹට ගිහිල්ලා වෙනදා වගේම බදුල්ලේ කෝච්චියේ එල්ලුනා..බදුල්ල කෝච්චිය කියන්නේ මතක ගොඩක්.ඔව්..මේක තමයි ඒ කොච්චි පෙට්ටිය..

Welcome එක , එහෙමත් නැත්නම් Social එක ජූනියර් බැජ් එකට දීලා හරියටම සතියකට විතර පස්සේ , ඒ කියන්නේ එයා මට ආදරෙයි කියලා සතියකට පස්සේ දවසක් වෙනකල් මගේ මතකය දුවලා ගියා..

"
මේක මතකද? "
සාක්කුවේ තිබුන බ්‍රේස්ලට් එක අතින් අරගෙන මම ඉශාරගෙන් ඇහුවා..

එයාගේ තිබුනේ හිස් බැල්මක්..ඒ බැල්ම දිහා එක එල්ලේ බැලුව නම් මට තේරුම් ගන්න තිබුනා එයා මට කරන්නේ ආදරයක් නෙමේ කියලා..ඒත් ඒ ඇස් දිහා බලන්න තරම් හයියක් මට තිබුනේ නෑ.ඇස් දිහා බැලුවහම මතක් උනේ සජිනිව..ඉතින් මම බ්‍රේස්ලට් එක දිහාම බලාගෙන ඉදියා..
"මතකයි අයියේ.."

"දැන් ඉතින් මේක මගේ ලග තියාගෙන ඉදලා වැඩක් නෑ නේ..ඕන්න දැන් ඒක නියම අයිතිකාරි ලගටම ගියදෙන්..කෝ දෙන්න අත...ගලව ගත්තේ මම නේ..මමම ඒක දාන්නම්.."

එහෙම කියලා බ්‍රේස්ලට් එකත් එක්ක මම එයාගේ අත දිහාවට මගේ අත දික් කරා..

"නෑ අයියේ..."

අත පැත්තකට අරගෙන එයා කතා කරන්න ගත්තා..ඒක පැත්තකට ගත්තා නෙමේ මගේ අත ගසලා දැම්මා කියලා එදා මට තේරුම් ගන්න බැරි උනා...ඇත්තටම ආදරේ කරද්දී මොන පිරිමිය උනත් සෑහෙන්න බොලද වෙනවලු..ඒ කතාව නම් සහතික ඇත්ත..

"අයියා ඕක තියාගන්න..මාව මතක් වෙන්න හැමදාම ඕක තියාගන්න"

"අනේ පිස්සී...මට ඔයාව අමුතුවෙන් මතක් වෙන්නේ නෑ...මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්වනේ..ඔයා එක මොහොතක් වත් මට අමතක වෙන්නේ නෑ..ඉතින් ඒක නිසා අමුතුවෙන් ඔයාව මතක් කරන්න ඕන නෑ.."

මම හෙන රොමෑන්ටික් ටෝකක් දුන්නා..

"කමක් නෑ අයියා ඕක තියාගන්න..මම වෙන එකක් ගන්නම්.."

"ආ...නියමයි අදහස...මම මේක තියාගන්නම්...ඊට පස්සේ ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්..එතකොට හරි නේ වැඩේ..."

"හ්ම්ම්ම්ම්..හරි.." 
එයා එච්චරමයි ඒ ගැන කිව්වේ...

කෝච්ච්චිය ගැස්සෙද්දී ආයේමත් මම පියවි ලෝකෙට ආවා.නුවර යන්න තව පැය දෙකක් විතර යනවා..බෑග් එක ඇරලා laptop එක අරගෙන අද කතාවේ මතකය කියන කොටස ලිව්වා..පැය දෙක ඇතුලතම ඒ කොටස ලිව්වා.ඔයාලා බලනවා ඇති මේ පොඩි කොටස ලියන්න පැය දෙකක් යන්නේ කොහොමද කියලා.

ඒත් මේ පොඩි කොටස මට මතක කන්දක්...මේ ලියපු හැම වචනයකම තියෙන්නේ ඒ මතකය..

ගෙදර ඉදිය නම් එක පාරක් අඩලා විනාඩි ගානකින් ලියලා දාන්න තිබුනා..ඒත් මේක කොච්චිය..ඒකෙත් තුන් වෙනි පන්තිය.මගේ ඉස්සරහා ශීට් එකේ තව තුන් දෙකෙන් මූනට මූන බලන් ඉන්නවා..මම කතාව ලියන්නත් ඕන..හැගීම් හංග ගන්නත් ඕන..මේක මහා ගින්දරක්...